Filtered Press Release : 2017 Sep


News Image
අනාගත ක්‍රිකට් පිටිය බබළවන මිණිකැට සොයා උතුරට

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම මෙහෙයවන ක්‍රිකට් පුහුණු කඳවුරු උතුරු පළාතේ දියත් කෙරේ ක්‍රිකට් ක්‍රීඩාව යනු අප රටේ සියලු පුරවැසියන් කිසිදු භේදයකින් තොරව එකා මෙන් එකට බැඳවූ අපූරුතම රන් දම්වැලකි. ශ්‍රී ලංකික අපටම විශේෂ වූ රිද්මයක් අනුව, සියළු වෙනස්කම් ඉවත දමා ජය පරාජය එකසේ සමරමින්, එක කණ්ඩායමක්, එක කොඩියක් යටතට මුළු මහත්

ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම මෙහෙයවන ක්‍රිකට් පුහුණු කඳවුරු උතුරු පළාතේ දියත් කෙරේ

ක්‍රිකට් ක්‍රීඩාව යනු අප රටේ සියලු පුරවැසියන් කිසිදු භේදයකින් තොරව එකා මෙන් එකට බැඳවූ අපූරුතම රන් දම්වැලකි. ශ්‍රී ලංකික අපටම විශේෂ වූ රිද්මයක් අනුව, සියළු වෙනස්කම් ඉවත දමා ජය පරාජය එකසේ සමරමින්, එක කණ්ඩායමක්, එක කොඩියක් යටතට මුළු මහත් ජාතියම එක් කරවීමට අපගේ ක්‍රිකට් ක්‍රීඩාවට ඇති හැකියාව අපි නැවත නැවතත් දැක ඇත්තෙමු. අප දැන් එළඹ ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩාවේ එම අපූර්වත්වය නැවත අත්විඳීමට මුළු රටම නොඉවසිල්ලෙන් බලාසිටින මොහොතකටයි.

ක්‍රිකට් ක්‍රීඩාවේ අපට පුරුදු ජීව ගුණය පවත්වා ගැනීමට නම් නිරතුරුවම සහජ දක්ෂතාවෙන් පිරි නවකයන් හඳුන්වා දීමත්, ඔවුන්ට සිය කුසලතා පෙන්වීමට අවශ්‍ය වටපිටාව සැලසීමත් අනිවාර්යයෙන් ම සිදුවිය යුතු බව අවිවාදයෙන් පිළිගැනේ.

ලෝක සිතියමේ ලංකාවේ නම රනින් ලියවිය හැකි අනාගත ක්‍රිකට් තරු සෙවීමේ මෙහෙයුමේ පෙරටුගාමී මෙහෙවරක් ඉටුකිරීමට ටෝකියෝ සිමෙන්ති සමාගම කලක සිට කැපවී සිටියි. ලංකාවේ සෑම කෙළවරකින් ම සැබෑ ක්‍රිකට් හපනුන් මතුකර ගැනීමේ අරමුණින් ගුණ ජය සතුට පදනම සමග එක්ව මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කරමින්, මේ සඳහා සමාගම සිය පූර්ණ දායකත්වය ලබා දේ. දකුණේ, සීනිගම සහ හික්කඩුව යන නගර මූලික කරගනිමින් පුහුණුවීම් සඳහා අවශ්‍ය ක්‍රීඩාගාර සහ යටිතල පහසුකම් ඉදිකරමින් ඇරඹි මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ, පළාත්බද දක්ෂ පාසැල් ක්‍රීඩකයන්ට දිවයිනේ සිටින අති දක්ෂතම පුහුණුකරුවන් සහ ක්‍රීඩා විශේෂඥයන් යටතේ තම ක්‍රිකට් කෞශල්‍යය තව තවත් ඔප්නංවා ගැනීමට අවස්ථාව උදාකරදීමයි. මේ හරහා, සිය දක්ෂතාවය මතින් කැපීපෙනෙන ක්‍රීඩා පෞරුෂයන් ගොඩ නංවා, එතුලින් සිය අනාගතය දීප්තිමත් කරගැනීමට ලංකාවේ සියළු පළාත්වල තරුණයන්ට දොරගුළු විවර කිරීම ටෝකියෝ සිමෙන්ති සමාගමේ අභිලාෂයයි.

මෙම වැඩසටහනේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් උතුරු පළාතේ ප්‍රථම මාසික ක්‍රිකට් පුහුණු කඳවුර නොබෝදා යාපනය මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු වන හේමන්ත දේවප්‍රිය මහතාගේ මුලිකත්වයෙන්, ඔහුගේ කණ්ඩායමේ විශේෂඥ පුහුණුකරුවන් මඩුල්ලකගේ මගපෙන්වීම යටතේ මෙම පුහුණු කඳවුර පැවැත්විණි. වයස 13ත් 19ත් අතර යොවුන් ක්‍රීඩකයන් 35කගෙ සහභාගිත්වයෙන් පැවති මෙම පළමු පුහුණු සැසිවාරයේදී, අනාගතයේ දිදුලන ක්‍රිකට් තරු ලකුණු පහළ කළ, අගනා දක්ෂතාවන්ගෙන් පිරිපුන් පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන් ගණනාවක් හඳුනා ගැනීමට හැකි විය. මාසිකව පැවැත්වීමට නියමිත ඉදිරි පුහුණු කඳවරු වලදී සිය දක්ෂතාවයන් තවත්‍ වැඩිදියුණු කරගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇත.



ක්‍රිකට් පුහුණුකරු හේමන්ත දේවප්‍රිය මහතා යාපනයේ දරුවන් ක්‍රිකට් පුහුණුවේ යොදවමින් යාපනයෙන් ඇරඹි මෙම උතුරු පළාත් මාසික ක්‍රිකට් පුහුණු කඳවුර, මින් ඉදිරියේදී උතුරු පළාතේ කිලිනොච්චි, ඔඩ්ඩුසුඩාන්, මාන්කුලම්, මුලතිව් සහ වවුනියා යන අනෙකුත් ප්‍රධාන නගර වලද පැවැත්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම සහ ගුණ ජය සතුට පදනම කටයුතු යොදා ඇත. ගුණ ජය සතුට පදනමේ ක්‍රීඩා අධ්‍යක්‍ෂ අනුර ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම ක්‍රීඩා කුසලතා සංවර්ධන වැඩසටහන යටතේ උතුරු පළාතේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් 50ක්, ක්‍රීඩාවේ පමණක් නොව තම රටේ නම බැබලවීම සඳහා පුහුණු කෙරෙනු ඇත. උතුරු පළාතේ දක්ෂතාව පිරිපුන් දරුවන් උදෙසා පුහුණු කඳවුර දියත් කිරීම පිලිබඳ සිය අදහස් දැක්වූ, ගුණ ජය සතුට පදනමේ නිර්මාතෘ / ප්‍රධාන භාරකාර කුෂිල් ගුණසේකර මහතා පවසා සිටියේ, ‘දක්ෂතාවෙන් මෙන්ම කුසලතාවෙන් ඉතාම පොහොසත් රටක් හැටියට අප ඉතා වාසනාවන්තයි. පළාත්බදව සැඟවී තිබෙන එම දක්ෂතාවන්, රටේ අනාගතය පෝෂණය කිරීම උදෙසා ඔපමට්ටම් කරදීම අපේ කාර්යභාරය” බවයි.



අනාගත තරු ලකුණු ප්‍රකට කරමින් පුහුණුවේ යෙදෙන උතුරේ පාසැල් ක්‍රිකට් ක්‍රීඩකයන්



ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය පිණිස ටෝකියෝ සිමෙන්ති සමාගම අංශ ගණනාවකින් සිය සහයෝගය ලබාදේ. සමාගමේ පුර්ණ අනුග්‍රහයෙන් ගුණ ජය සතුට පදනම විසින් දකුණු පළාතේ පවත්වන මාසික ක්‍රිකට් පුහුණු කඳවුරු තුලින් මේ වනවිට පාසැල් ක්‍රීඩකයින් 600කට වඩා බිහිකර ඇති අතර, වයස 19න් පහළ ජාතික සංචිතය නියෝජනය කරන ක්‍රීඩකයන් ගණනාවක් මෙන්ම ටෙස්ට් වරම් ලාභී ක්‍රීඩකයෙකු ද ඒ අතර සිටියි. ප්‍රවීණ ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුදැනුමෙන් ක්‍රියාවට නැංවූ උතුරේත් නැගෙනහිරත් පාසැල් 30ක කොන්ක්‍රීට් තණතිලි ඉදිකිරීමේ ව්‍යාපෘතියට ද ටෝකියෝ සිමෙන්ති සමාගම සිය නොමසුරු දායකත්වය ලබා දුන්හ. මෙම සියළු උත්සාහයන්ගේ එකතුවෙන්, ක්‍රීඩාශ්‍රීලිත්වයේ ශක්තිමත් පදානම මත උතුර දකුණ යා කරන පාලමක් ගොඩනැගීමේ අරමුණින් සංවිධානය කෙරෙන මුරලි හාමනි කප් ක්‍රිකට් තරඟාවලියට වසර ගණනාවක් පුරා සිය අඛණ්ඩ අනුග්‍රාහකත්වය ද ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් ලබාදෙයි. දිවයිනේ සියළු පළාත් නියෝජනය කරන පාසැල් 24ක නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයින් 400ට අධික ගණනකට සිය දක්ෂතා උරගා බැලීමට අවස්ථාව සලසන විස්සයි-විස්ස තරඟාවලියක් ලෙස මුරලි හාමනි කප් හැඳින්විය හැක.



ක්‍රිකට් ක්‍රීඩාවේ අභිවෘද්ධිය උදෙසා නිරතුරුව සිය සහයෝගය ලබාදීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත් වන්නේ, භාෂාව, සංස්කෘතිය ආදී සියළු වෙන්කිරීම් අභිබවා සියළු ශ්‍රී ලාංකිකයන් දැඩි සහෝදර බැම්මකින් එකතු කරවීමට ඊට ඇති හැකියාව හොඳින් හඳුනාගෙන සිටින නිසාවෙනි. ක්‍රිකට් ක්‍රීඩාවේ එම ජීව ගුණය ශක්තිමත් අඩිතාලමක් කරගනිමින් අනාගත පරපුර අතර නොසැලෙන බැඳීමක් ඇතිකිරීම, අප රටේ අනාගතය ගොඩනැංවීමේ හෘදයාංගම කාර්යයට උරදී සිටින ටෝකියෝ සිමෙන්ති සමාගමේ අපේක්ෂාවයි.


පසුගිය පුවත් නිවේදන

2023JanFebMarAprMayJunJulAugSepOctNovDec
2022JanFebMarAprMayJunJulAugSepOctNovDec
2021JanFebMarAprMayJunJulAugSepOctNovDec
2020JanFebMarAprMayJunJulAugSepOctNovDec
2019JanFebMarAprMayJunJulAugSepOctNovDec
2018JanFebMarAprMayJunJulAugSepOctNovDec
2017JanFebMarAprMayJunJulAugSepOctNovDec